“බල සුභ නිමිති පෙරමඟ නැකතටත් වැඩි”
සැළලිහිණි සංදේශයේ ලිහිණිය දෙවොලෙන් එලියට බසිනවිට කවියා කියනා මේ වදනින් අපට සැල වන්නේ පෙර මඟ ලකුණු කියන්නේ ලංකාවේ අපිට නුපුරුදු දෙයක් නොවන බවයි. මේ පෙරමඟ ලකුණු ඒ තරමටම ලංකාවේ ජන සමාජයේ මුල් බැහැලා පිළිගන්නා තරමට පැතිරිලා ඇති අතර, වෙනස් ආකාරයේ ලෝකේ කොහෙවත් නැති මේ පෙර මග ලකුණු ඔබත් අත් විඳලා තියෙනවද කියලා බලන්න.
1. එලියට බසින විට බල්ලෙක් උඩු බිරීම සහ කන්පට ගැසීම.
අපි ගෙදරින් එලියට බහින්න හදනකොටම බල්ලෙක් උඩු බුරන්න හෝ කන්පට ගසන්නට ගත්තොත් ඉස්සර අපේ මුතුන්මිත්තෝ කිව්වේ එක හරි නරක පෙරමඟ ලකුණක් කියලයි. මේ නිසා ඒ වගේ වෙලාවකට ඔවුන් ඒ ගමන වෙන වෙලාවක යන්නට හෝ එදිනට ඒ ගමන නොයන්නට හෝ පුරුදු වී සිටියා.
2. හිස් භාජනයක් රැගෙන ඉදිරියට පැමිණීම .
මේ වෙනකොට නම් මේ සංකල්ප සමාජයෙන් ඉවත් වෙලා තිබුනත් තවමත් සමහර අවස්ථා වල මේ අදහස් ඉස්මතු වෙන අවස්ථා අපිට දැකගන්නට පුළුවන්. හොඳම උදාහරණය මගුල් ජෝඩුවක් තම දෙවෙනි ගමනට පිටත් වන අවස්ථාවක යම් කෙනෙකු හිස් භාජනයක් සමඟ ඉදිරියට පැමිණියහොත් එය විශාල නරක පෙරනිමිත්තක් බව සලකනවා. ඒ නිසයි නව යුවල නිවසින් එලියට බහින විට ඉදිරියට පවුලේ වැඩිහිටියෙකු දිය පිරවූ බඳුනකට මල් කිහිපයක් දමා ඉදිරියට පැමිණ ඔවුන් දෙදෙනාව පිළිගන්නේ.
3. මහල්ලෙක් හෝ රෝගී පුද්ගලයෙකු දැකීම
එලියට බහින විට මහල්ලෙක් හෝ රෝගී පුද්ගලයෙකු අපි යම් සුභ වැඩකට යන්නට හදත්දී හෝ එවැනි වැඩක යෙදෙන විට ඇස ගැටුනොත් එය අසුභ යයි මතයක් සමාජයේ පවතිනවා. එලෙස ඇස ගැටුනට පසුව අප යම් වාදයක යෙදුනොත් ඒ වැඬේට බාධා පැමිණෙන බව විශ්වාස කළා. එයට පිළියම් ලෙස කලේ එවැනි අය මඟ හැර අප අපේ ගමන යාමයි.
4. හූනන් ඇඟට වැටීම සහ ශබ්ද කිරීම
එලියට බසින විට හුනෙකු ශබ්ද කලොත් එසේත් නැතිනම් බිත්තියක සිට හුනෙකු තම සිරුරට වැටුනොත් මඳක් නැවතී ඉන්න පුරුද්දක් තියෙනවා. මෙයට හේතුව නම් තවමත් අන් කිසිවකට වඩා හූනන් අපිට අනතුරක් කරදරයක් වන්නට කලින් පෙරනිමිති දක්වන බවට ජනයා අතර ඇති විශ්වාසය නිසයි. ඔබ මඳක් අප සෑම වසරකම භාවිතා කරන පංචාංග ලිත අරගෙන බැලුවොත් හූනන් ඇඟ වැටීමේ පලාපල නමින් වෙනම කොටස දකින්නට පුළුවන්. ඉතින් මේ විශ්වාස අපේ සංස්කෘතියේ කොතරම් වෙලාගෙන තියෙනවද කියලා තේරෙනවා නේද?
5. මිනිසුන් නිසා ගැහැට වීම
කියන්න යන්නේ නම් හරි වැරදි මතයක්. එත් මේ මතයත් තවම ලංකාවේ ජන සමාජයේ ඉතුරු වෙලා තියෙනවා. අපි ඇසුරු කරන සමහර මිනිස්සු දැක්කම මිනිස්සු කියනවා, “හපෝ ඒ මනුස්සයව දැක්කොත් උදේට දවසම ඉවරයි” කියල කියන. සමහර අපේ අතීතයේ මිනිසුන් මෙන්න මේ වගේ අයව ගමනක් යන්නට කලින් දකින්නට ප්රියතාවයක් දක්වන්නේ නැහැ.